රේමා යනු නොමිලේ කිතුණු පොත් බෙදාහරින, ලාභ නොලබන ආයතනයකි

ලාභ නොලබන ආයතනයක් වශයෙන් අපේ ක්‍රියාකාරිත්ව ඉතිහාසය හා ඔබට සහභාගි විය හැකි ආකාරය

රේමා සාහිත්‍යය බෙදාහරින්නන් යනු පොළොව පුරා එකම මෙහෙවරක නියුතුව සිටින ඇදහිලිවන්තයන් කණ්ඩායමකි - ඒ මෙහෙවර නම් ඉහළම ගුණාත්මක බවින් යුත් කිතුණු සාහිත්‍යය ක්‍රියාකාරී ලෙස බෙදාහැරීමයි. අප 100ට අධික රටවල් ගණනාවක, 40ට වඩා අධික භාෂා ගණනකින් බෙදාහරින්නේ සරල මූලධර්මයක් අනුවය = එනම් අපේ පොත්පත් සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදා දෙනු ලැබේ.

අප බෙදාදෙන්නේ අපට බොහෝ සෙයින් බයිබලය වටහාගැනීමට උපකාර කළා වූද, අපේ එදිනෙදා ජීවිතයේදී ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමට හා අත්දැකීමට උපකාර කළා වූද පොත්ය. අපි විශේෂයෙන්ම ලිවිං ස්ට්‍රීම් මිනිස්ට්‍රිය සමග සමීපව ක්‍රියා කරමින්, ඔවුන්ගේ ලේඛකයන් මගින් පළ කළ ප්‍රධාන පොත්පත් ගණනාවක් බෙදා හැරීමට කටයුතු කරමු.

අපි ලාභ නොලබන ආයතනයක් වෙමු; අපගේ බෙදාහැරීම් කළ හැකිව තිබෙන්නේ ලොව පුරා ඇදහිලිවන්තයන්ගෙන් හා සභාවලින් ලද දීමනා හේතුවෙනි. දෙවියන්වහන්සේව ගැඹුරින් හා තෘප්තිකර ආකාරයකට දැනගැනීමට සොයන සියලුදෙනා උදෙසා ස්වාධීන හා පුළුල් මාධ්‍යයක් වීමට අවශ්‍ය සැපයුම ඔවුන් අපට භාර දී ඇත.

අපේ ඇදහිල්ල

මිනිස්සු සමහර විට අපේ ඇදහිලි ගැන විමසති. අපේ ඇදහිල්ලේ ප්‍රකාශනය මෙයයි. අපේ පොත් ලබාගැනීමට මේ ඇදහිලි කෙරෙහි බැඳී සිටීම අවශ්‍යතාවක් නොවේ. අපේ පොත්, ඕනෑම ඇදහිල්ලක් සහිත ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබාගත හැකිය.

රේමාහි සිටින අපි, සියලු ඇදහිලිවන්තයන් බෙදාගන්නා පොදු ඇදහිල්ල අල්ලාගෙන සිටිමු; ඒ ඇදහිල්ලේ අන්තර්ගතය වරක් සදහටම නව ගිවිසුමෙහි ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම මේ පොදු නව ගිවිසුම් ඇදහිල්ල සෑදී ඇත්තේ අප බයිබලය, දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ හා සදාතනය සම්බන්ධයෙන් අදහන කරුණුවලිනි:

  • බයිබලය යනු සමස්ත දිව්‍යමය එළිදරව්වයි. එහි සෑම වචනයක්ම දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් තුළින් පොළඹවන ලදී.
  • දෙවියන්වහන්සේ යනු අසමසම වශයෙන් හා සදාතනිකව එකම තැනන්වහන්සේය, එහෙත් උන්වහන්සේ සදාතනිකව පියාණන්, පුත්‍රයාණන් හා ආත්මයාණන් වශයෙන් වෙනස්ව, එහෙත් වෙන් නොවී, ත්‍රිඒකව සිටින සේක.
  • දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ මාංසවත් වූයේ යේසුස් නමින් අව්‍යාජ, අංගසම්පූර්ණ මිනිසෙකු වීමටය. උන්වහන්සේ කුරුසයේ ඇණ ගසනු ලැබ, අපේ මිදීම උදෙසා අප වෙනුවෙන් නියෝජනාත්මක මරණයකට මුහුණ පෑ සේක. තුන්වැනි දවසේදී උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට මහිමාන්විත සිරුරකින් උත්ථාන වූ සේක. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තට ඔසවනු ලැබ, සියල්ල අභිභවා ස්වාමීන් කරනු ලැබූ සේක.
  • මිනිසා පව් කොට, පව්කාර වී, එබැවින් දෙවියන්වහන්සේගේ විනිශ්චය යටතට වැටුණේය. එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ නියෝජනාත්මක මරණය තුළින් මිනිසාට පාපයෙන් හා දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවීම ලැබීමට මාර්ගය විවර විය. ඕනෑම කෙනෙකු දෙවියන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගත් විට, ඔහු සදාතන ගැලවීම, පව් කමාව, දෙවියන්වහන්සේ ඉදිරියේ නිදොස්කම සහ උන්වහන්සේ සමග සමාදානය පවා ලබන්නේය. මෙය මත පාදකව, ගැළවීම ලත් පුද්ගලයෙක් දේව ජීවනයද ස්වභාවයද ලබන්නේය. එය ඔහු දේව දරුවෙකුද, ක්‍රිස්තු ශරීරයේ අවයවයක්ද බවට පත්වෙයි. ඒ ශරීරය තුළ සියලු ඇදහිලිවන්තයෝ වර්ධනය වෙමින් පරිණතකම කරා එකට ගොඩනැගෙති. සදාතනයේදී අපි දෙවියන්වහන්සේගේ තෝරාගත් ජනතාවගේ ගැළවීමේ පරිසමාප්තිය හෙවත් නව යෙරුසෙලමේදී උන්වහන්සේ සමග වාසය කරන්නෙමු.

රේමාහි අපේ ඉලක්කය වන්නේ මේ නව ගිවිසුම් ඇදහිල්ල පිළිබඳව පාඨකයාගේ අවබෝධය හා අත්දැකීම උපරිමයකට ගෙන එතැයි අප විශ්වාස කරන අසමසම කිතුණු ලියැවිලි එකතුවක් නොමිලේ සැපයීමයි. ඇදහිලිවන්තයන් භුක්ති විඳින්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මිදීම තුළින් උන්වහන්සේ තුළ සදාතන ගැළවීමක් පමණක් නොවේ; ඔව්හු උන්වහන්සේගේ ජීවනයෙන් දිනපතා ගැළවීමක්ද ලබති. මෙය බයිබලයේ ආත්මික ආහාරවලින් ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකිය. මෙය අපේ අත්දැකීමයි; එය ඔබේද අත්දැකීම වේවා යැයි අපි පතමු.

අපේ ඉතිහාසය

රේමා සාහිත්‍යය බෙදාහරින්නන්ගේ වසර 30කට අධික ඉතිහාසය

1980 දශකය මධ්‍යයේ සිට රේමා නොමිල පොත් බෙදාහැරීමේ නිරත විය. අප පළමුවෙන්ම පටන්ගත්තේ රුසියානු බසින් බයිබල හා ආත්මික පොත් පූර්ව සෝවියට් දේශයට බෙදාහැරීමටය. අපේ මුල් බෙදාහැරීමේ ක්‍රමය වූයේ එක් එක් ඉල්ලුම් කරන්නාට තැපෑලෙන් යැවීමය; එහෙත් අපි දේව වචනයේ සත්‍යය බොහෝ තැන්වලට ව්‍යාප්ත කිරීමට වෙනත් කණ්ඩායම් සමගද සම්බන්ධ වීමු.

1999දී රුසියානු බසින් කළ මේ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ සවිස්තරාත්මක පාසටහන් හා හැදෑරීමේ ලියැවිලි සහිත අලුත් රුසියානු නව ගිවිසුමක් මහා පරිමාණයෙන් බෙදා හැරීමය.

2001දී රේමා වෙනත් භාෂාවල හා රටවල නොමිල ආත්මික සාහිත්‍යය බෙදාහැරීමේ අවශ්‍යතාව ගැන සැළකීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ පොළොවෙහි වෙනත් ප්‍රධාන කලාප අඩංගු වූ ක්‍රමානුකූල ව්‍යාප්තියකි. පළමු රැල්ල වශයෙන් අපි අමතර භාෂා දහයක් එකතු කොට, බෙදාහැරීම සඳහා නිශ්චිත පොත් කට්ටලයක් සූදානම් කළෙමු.

2006දී රේමා තවත් භාෂා රැල්ලක් සඳහා සැළසුම් සකස් කළේ මැදපෙරදිග හා ආසියාවේ ඉතා වැදගත් ප්‍රදේශ අන්තර්ගත කරමිනි.

මේ පසුගිය වසර 20 තුළ මිලියන් ගණන් කිතුණු සාහිත්‍ය ලියැවිලි නිකුත් විණි. ඒ් සියල්ල නොමිලයේය.

අපගේ නොමිල කිතුණු පොත්

විද්‍යුත් පොත් වශයෙන් හෝ මුද්‍රිත පොත් වශයෙන් ලබාගත හැකිය

අපගේ පොත්, ඔබට බයිබලය දැනගැනීමටද, ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීමටද, ඔබේ කිතුණු ජීවිතය සඳහා ප්‍රායෝගික උදව් ලබාගැනීමටද උපකාර වෙයි. මේ පෙලට කට්ටල තුනකින් එන පොත් 7ක් අඩංගුය. මේ පෙළෙහි එන විෂයයන් ඉදිරියට යන ගමනකි. ඒවා සියල්ලන් උදෙසා ආශ්චර්යමත් සැපයුමකි.

තවත් දැනගන්න

අනුන් සමග බෙදාගන්න